Search
Close this search box.

සමස්ත චීන කාන්තා සම්මේලනය මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත කරන ලද ප්‍රදානයක් ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ සාමූහික ව්‍යාපෘතියක් ලෙස  ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙරපාසල කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ කාන්තා හා ළමා කටයුතු ඇමතිනි සරෝජා පෝල් රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) දින විවෘත කරන ලදී.

“Little Roots ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙරපාසල විවෘත කෙරේ”

මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.

“මීට අවුරුදු සියයකට විතර කලින් වී.අයි. ලෙනින් කියන දේශපාලඥයා කාන්තා විමුක්තිය කියන පොතේ සඳහන් කරන විදිහට ගෙයක් ඇතුළේ තියෙනවා ෆැක්ටරි 3ක්. ඒ ෆැක්ටරි තුන ගේ ඇතුළෙන් එළියට නොගන්නා තාක් කල් කාන්තා විමුක්තියක් ගැන කතා කිරීම කිසිම තේරුමක් නැහැ.

කාන්තා විමුක්තිය ඇති කරන්න නම් උයනපිහන, කපනකොටන මේ ෆැක්ටරිය ගෙයින් එළියට ගන්න ඕනේ. අඩු වැඩි වශයෙන් දියුණු සමාජවල ආහාර පිසීමේ කර්මාන්තය ගේ ඇතුළෙන් එළියට ඇවිත් තියෙනවා. ඉස්සර ගැහැණු ළමයෙක් දීග දෙනකොට අනිවාර්යයෙන් මහන මැෂිමක් දෙනවා.

 ඒ කියන්නේ රෙදි සකස් කරගැනීමේ කර්මාන්තයත් ඉස්සර තිබුණේ ගේ ඇතුළේ. අද ඒක එළියට ඇවිල්ලා. දැන් අපිට කැමති ඇඳුමක් මිලට ගන්න පුළුවන්. ඒ එක ෆැක්ටරියක් දැන් එළියට ඇවිත් තියෙනවා. දැන් අපිට පුළුවන් කෝල් එකක් දීලා ඕනම වෙලාවක ආහාර ලබාගන්න. හැබැයි ඒකට හොඳ ආර්ථිකයක් ඕනේ.

නැත්නම් අපිට පුළුවන් ගෙදර උයන්නම ඕනේ නැහැ. එළියට ගිහිල්ලා අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. හැමෝටම ඔය ‍ෆැක්ටරියෙන් එළියට එන්න බැරිවෙලා තියෙනවා, දුප්පත්කමේ ප්‍රශ්නය නිසා.

දරුවන් රැකබලා ගැනීමේ ෆැක්ටරිය විතරක් ගේ ඇතුළේ තියෙනවා කියලා තමයි ලෙනින් සහෝදරයා කියන්නේ. ඒ කාර්යය ගේ ඇතුළෙන් එළියට අරන් මේ වගේ සමාජයීය කාර්යයක් කළ යුතුයි. 

තනි තනි ගෙවල් ඇතුළේ දරුවෝ හදන එක, නඩත්තු කරන එක හරි වෙහෙසකාරියි. ඒකෙන් දරුවන්ට සාධාරණය වෙන්නෙත් නැහැ. දෙමව්පියන්ට සාධාරණය වෙන්නෙත් නැහැ. අනාගත දරුවෙක් බිහිකරන්න අවශ්‍ය කරන හොඳම දේ වෙන්නෙත් නැහැ. ආච්චියි සීයයි බලාගන්න එකෙන් ආදරය ලැබුණත් අනාගත ලෝකය ලැබෙන්නේ නැහැ. නමුත් මෙතනදි බලාගන්නේ අත්දැකීම් තියෙන අය. ඒ ගැන හොඳ අධ්‍යාපනයක් තියෙන අය. ඒ වෙනුවෙන් සැදී පැහැදී එය වෘත්තියක් විදිහට පුහුණු කරපු අය තමයි මේ දරුවෝ රැකබලා බලාගන්නේ.

මේක දිවා සුරුකුම් මධ්‍යස්ථානයකට වඩා දරුවන් සුරැකුම් මධ්‍යස්ථානයක්. දිවා කියන වචනය කපන්න කියලා මම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියට යෝජනා කරනවා.

ලෙනින්ට අනුව වොෂින් මැෂින් එක ගෙදරට ගේනවා කියන්නේ ෆැක්ටරිය ගේ ඇතුළට ගන්නවා කියන එක. අපිට පුළුවන් වෙන්න ඕනේ වොෂින් මැෂින් එකක් නැති ගෙදරක් හදාගන්න. ඊට අදාළ කටයුතු එළියෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය කියන ෆැක්ටරි තුන ගෙදරින් එළියට ගත්තොත් ගේ ඇතුළේ ඉතුරු වෙන්නේ මොනවද බලන්න. එහෙම ගෙයක් හොයාගන්න පුළුවන්ද? ඒ නිසා අපි තවම හිතන් ඉන්නවා අපි ගෙවල් ඇතුළට හොයන්නේ හොඳම දේවල් කියලා.

මම මේ වැඩේට සම්බන්ධ වෙන්නේ න්‍යායාත්මක දැනුමත් සමඟ. දැන් ගෙයක් ඇතුළේ තියෙන දේවල් සමාජයීය කාර්යයන් වෙලා තියෙනවා. අපි මේ ෆැක්ටරි තුන ගෙදරින් එළියට ගෙනත් ගෙදර නිවසක් බවට පත්කළ යුතුයි. එතකොට ගේ ඇතුළේ තියෙන්නේ ආදරය, සෙනෙහස, කරුණාව, දයාව.

මේක ඉතාම වැදගත් වැඩක්. අපේ වැඩකරන කාන්තාවන්ට විතරක් නෙවෙයි මේක අවශ්‍ය. දරුවන් තනි තනි වශයෙන් නෙවෙයි සමාජයීය වශයෙන් සංවර්ධනය කළ යුතුයි.”

මෙම අවස්ථාවට කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ යන මහත්මමහත්මීන් සහභාගී විය.

Translate »