චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් අප්‍රේල් 24 සිට 26 දක්වා චෙන්නායි හි ග්‍රීන් මෙඩෝස් රිසෝට් (Green Meadows Resort) හිදී ප්‍රථම වරට “ශ්‍රී ලංකා ආහාර උළෙල 2026” සාර්ථකව පවත්වන ලදී. දින තුනක් පුරා පැවති මෙම උළෙල සඳහා 700කට අධික පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි. දකුණු ඉන්දීය සිනමා නළු නිළියන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින්, සංචාරක සංගම්වල සාමාජිකයින්, රොටරි සමාජ සහ මාධ්‍යවේදීන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම උළෙල ශ්‍රී ලංකාවේ විවිධ වූ ආහාර සංස්කෘතිය ලොවට විදහා දැක්වීමටත්, අමුත්තන්ට සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ආහාරවල සැබෑ රසය අත්විඳීමටත් ලැබුණු අනගි අවස්ථාවක් විය. ආහාර සංස්කෘතිය අගය කිරීම හරහා සංචාරක ව්‍යාපාරය, වෙළඳාම සහ දෙරටේ ජනතාව අතර පවතින සබඳතා ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාව අතර සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීම මෙම උළෙලේ ප්‍රධාන අරමුණ වූ අතර එය ඉතා සාර්ථකව ඉටු විය.
“සංචාරක ප්‍රවර්ධනය සඳහා චෙන්නායිහි ප්‍රථම වරට පවත්වන ලද ශ්‍රී ලංකා ආහාර උළෙල ”
2026 ශ්‍රී ලංකා ආහාර උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වෙල්ස් විශ්වවිද්‍යාලයේ (Vels University) නිර්මාතෘ සහ කුලපති ආචාර්ය ඉෂාරි කේ. ගනේෂ් මහතා සහභාගී වූ අතර ද්වාර්කා ප්‍රඩක්ෂන්ස් හි බ්ලේස් කන්නන් මහතා, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී නසූමි අසාර් මහතා සහ ශ්‍රී ලාංකීය නළු කලණ ගුණසේකර මහතා ද මෙම අවස්ථාවට එක් වූහ.
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රවීණ සූපවේදීන්ගේ සහභාගීත්වය මෙම උළෙලේ සුවිශේෂී අංගයක් විය. ඔවුන්ගේ කුසලතාවය හරහා අමුත්තන්ට ශ්‍රී ලාංකීය ආහාරවල සැබෑ රසය අත්විඳීමට හැකි විය. එසේම, ශ්‍රී ලංකා පොලිස් නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කළ සාම්ප්‍රදායික නර්තන අංග මගින් ශ්‍රී ලංකාවේ පොහොසත් කලාත්මක උරුමය අමුත්තන්ට විදහා දැක්වීය.
මෙම අවස්ථාව සඳහා රොටරි දිස්ත්‍රික්ක 3234 හි දිස්ත්‍රික් ප්‍රධානි සුරේෂ් ජේන් මහතා, චෙන්නායි කෝස්ටල් රොටරි සමාජයේ සභාපති නවීන් ගුප්තා මහතා සහ මීට අමතරව, රොටරි සමාජය විසින් ශ්‍රී ලංකාවට ගිලන් රථයක් පරිත්‍යාග කිරීමට සහ මෙරට පාසල් 30ක් ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කළ අතර, එය දෙරට අතර සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශවල පවතින සුහදත්වය තවදුරටත් තහවුරු කළේය.
නියෝජ්‍ය මහ කොමසාරිස් වෛද්‍ය ගනේසනාදන් ගීතිෂ්වරන් මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම අවස්ථාව ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉන්දීය රජයේ සංචාරක අංශය, තමිල්නාඩු රජයේ සංචාරක දෙපාර්තමේන්තුව, චෙන්නායි හි ද්වාර්කා ප්‍රඩක්ෂන්ස් (Dwarka Productions) සහ ටාල්ටන් ටී (Tarlton Tea) යන ආයතනවල සහයෝගයෙන් සංවිධානය කරන ලදී.