“ඉන්ධන පරිභෝජනය අවම කරන්න –ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති”
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීමට හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
මෙහිදී ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජකරුණා මහතා පවසා සිටියේ, පසුගිය දින කිහිපයේ තෙල් හිඟයක් පවතින බවට බියට පත්ව ජනතාව විසින් මෙසේ ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹීම, මෙම මිල ඉහළ යාමට බෙහෙවින් බලපෑ ඇති බවය.
තත්ත්වය එසේ නොවුණානම් මේ මස අගවන තුරු පැවති මිල ගණන් යටතේ ඉන්ධන මිල දී ගැනීමට හැකියාවක් තිබූ බව පවසා සිටින රාජකරුණා මහතා,පවතින ඉන්ධන අර්බුදය ලෝකයටම බලපෑම් එල්ල කිරීමට සමත්ව ඇති බැවින් ඒ සඳහා සාමූහිකව කටයුතු නොකළහොත් දැඩි අවධානමකට මුහුණ දීමට සිදුවන බැවින් පරිභෝජනය සීමා කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.