“අපි හරියට වැඩ කළොත් මේ රටේ සංචාරක කර්මාන්තය වසර පහකින් ගොඩ ගන්න පුළුවන්”
ඔහු වසර හතළිහක් පුරා මෙරට සංචාරක කර්මාන්තයට කරන ලද සේවය, අනන්තය… අප්‍රමාණය… දිවා රෑ නොබලා ඔහු ඒ වෙනුවෙන් බොහෝ කැපවීම් කළාය.. ශ්‍රී ලාංකීය නාමය ලොවට රැගෙනයාම සඳහා ඔහු බොහෝ වෙහෙසුනාය.. ඒ ඔහු සංචාරක කර්මාන්තයට ඇති බොහෝ ප්‍රේමය නිසාය.. හදවතින්ම පැන නගින ඔහුගේ ලගන්නා සුළු කතාබහට… ප්‍රියමනාප සුන්දර පෙනුමට.. විදේශීය සංචාරකයන් වශීකෘත වූවාය… ඔවුන්, ඔහුගේ ඇසුර ලබන්නට බොහෝසේ ප්‍රිය කළාය..
මෙරටට එන බොහෝ විදේශීකයන් ඔහුගේ සේවය ලබාගන්නට පොර කෑවාය..එතරමටම ඔහු විදේශීය සංචාරකයන්ගේ අවංක ලැබැන්දෙකු විය.. මෙරටට පැමිණ ඔහුගේ සෙවණේ සිටි සියලු විදේශකයන්, අවසානයේදී ගුවන් තොටින් නික්ම ගියේ, ඔහුව සිප වැළඳ ගනිමින් පැය ගණන් කඳුළු සලමින් සිටය.. ඒ ඔහු ඔවුන්ගේ හදවතේ නිදන් ගතවී සිටීම නිසාය..
ක්ෂේත්‍රය පිළිබඳව දැනුම් සම්භාරයක් ඇති මේ වටිනා මිනිසාගේ සේවය මෙරට කොතරම් දුරට ලබාගෙන ඇත්දැයි සැක සහිතය.. අප ඔහුගේ බුද්ධිය, දැනුම, හැකියාව හා අන්තර්ජාතික සම්බන්ධතාවයන් මහපොළොවට යට කර දැමීමට ඉඩ හැර තිබීම මහත් අපරාධයකි.. ඔහුගේ දැනුම බුද්ධිය හා සේවය මෙරටට අවශ්‍යම කාලයයි මේ..
සංචාරක කර්මාන්තය වෙනුවෙන් බොහෝ කැපවීම් කරමින් ශ්‍රී ලාංකීය නාමය නිහඬව ලොවට රැගෙන යන මේ අපූරු ලෙන්ගතු, නිහතමානී මිනිසා,… ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි ජයදේව සුදුසිංහයි.. අන්තර්ජාතික සෙරෙන්බෝනා සඟරාවේ Big story අපි ඔහු සොයා ගියෙමු….
හොඳ ප්‍රශ්නයක්.. මේ රටේ සංචාරක ව්‍යාපාරය කියලා එකක් තියෙනවා. නමුත් ඒක හරි පාරක ගමන් කරනවද කියන එක තමයි ප්‍රශ්නේ. හරිහැටි කළමනාකරණය කරලා, මිනිසුන්ව දැනුවත් කරලා කරන විදියේ සංචාරක ව්‍යාපාරයක් නම්, තවම මේ රටේ නෑ. ලෝකයේ අනෙක් රටවල් එක්ක සසඳද්දී අපේ රටේ හැම සම්පතක්ම ඕනවටත් වඩා තියෙනවා. මේ සම්පත් හරියට ප්‍රයෝජනයට අරගෙන අපේ රටේ සංචාරක ව්‍යාපාරය නියම මගකට ගන්නේ නැත්තේ ඇයි.. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය.
ඇත්තම කියනවානම්. අපේ දේශපාලනඥයාට සංචාරක කර්මාන්තය ගැන අවබෝධයක් නෑ. ඊළඟ කාරණාව තමයි සංචාරක කර්මාන්තයෙන් දේශපාලනඥයාට හම්බ කරන්න බෑ. රටේ සංචාරක මණ්ඩලයක් තිබුනට, සංචාරක ප්‍රවර්ධන අධිකාරියක් තිබුනට, සංචාරක කර්මාන්තයෙන් හම්බ කරන්නේ පුද්ගලික අංශය. කොටින්ම කියනවනම් සංචාරක කර්මාන්තය කියන්නේ දේශපාලනඥයාට කොමිස් ගහන්න බැරි ව්‍යාපාරයක්. මේ රටේ මෙතෙක් බිහි වුණු දේශපාලන කල්ලි දිහා බැලුවම සංචාරක කර්මාන්තය ගැන දැනුමක් තිබුන, යමක් කළ යුතුයි කියලා සැබෑ උවමනාවක් තිබුණ, අය හිටියේ අත ලොස්සක් විතරයි. මේ අය අතර ලක්ෂ්මන් කදිරගාමර් සහ ධර්මසිරි සේනානායක කියන දේශපාලන චරිත දෙක ඉතා වැදගත් චරිත දෙකක් වෙනවා. අපේ අවාසනාවට අද මේ දෙපළම ජීවතුන් අතර නෑ.
ඔව්.. ඒක තමයි ඇත්ත.. විෂය පිළිබඳව නිවැරදි අවබෝධයක් නැතිකම සහ කොමිස් ගහන්න බැරිකම. ලෝකයේ රටවල් එක්ක සසඳද්දී අපේ රට ඉතාමත් කුඩා රාජ්‍යයක්. වර්ග කිලෝ මීටර් 65610 ක භූමි ප්‍රමාණයක් අපිට තියෙන්නේ. රට වටේටම මුහුද. එතකොට රට ඇතුලෙ තියෙන විවිධත්වයන් දිහා බලන්න.. දේශගුණික විවිධත්වය, පාරිසරික විවිධත්වය, මොන තරම් විවිධත්ව කන්දරාවක් මේ පුංචි භූමිය ඇතුලේ තියෙනවද. මම මේ වෙනකොට ලෝකයේ රටවල් හතලිහකට වඩා ගිහින් තියෙනවා. ඒ හැම රටකටම වඩා මේ පුංචි දිවයින ඇතුලේ වචනයෙන් කියලා නිම කරන්න බැරි තරමට පහසුකම් සහ සම්පත් තියෙනවා. මෙතැනදී මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි, සංචාරක කර්මාන්තය පිළිබඳව නියම අවබෝධයකින් හා කැක්කුමකින් වැඩ කළොත්, අන්න එදාට මේ රට දියුණු කරන්න යන්නේ අවුරුදු පහයි. ඇත්තම කියනවනම් ශ්‍රී ලංකාව දියුණු කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි. එක තමයි කෘෂිකර්මාන්තය. දෙවැනි ක්‍රමය තමයි සංචාරක කර්මාන්තය.. මේ දෙකම එකට බද්ධ වුන විෂයන් දෙකක්. අපේ අතීතයේ රජවරුන්ට පින්සිද්ධ වෙන්න වැව් හැට දාහක් වගේ ප්‍රමාණයක් හදලා දීලා තියෙනවා. මම මෙතනදී යෝජනා කරන්නේ මේ වැව් ටික හරියට ප්‍රතිසංස්කරණය කරලා, ඇලමාර්ග ටික හරියට හදලා,.. රටේ ගොවියට දෙන්න පුළුවන් උපරිම ආධාර ටික දීලා.. රට ස්වයංපෝෂිත කරාට පස්සේ, ඉබේම රට ලස්සන වෙනවා. මෙතැනදී අපිට කරන්න තියෙන්නේ පිටරටවලට ගිහිල්ලා ලංකාවේ සුන්දරත්වය, විවිධත්වය පැහැදිලි කරලා දීලා.. ඒ අයට මේ රට බලන්න එන්න කියලා ආරාධනා කරන්න විතරයි. අපි මේ දේ හරියට කලොත් අවුරුදු පහක් ඇතුලත මේ රට බලන් ඉද්දි දියුණු කරන්න පුළුවන්.
හරියට හරි.. ඒක තමයි පරම සත්‍යය. 1948 අපි නිදහස ලබා ගත්තට පස්සේ අපේ දේශපාලන ඉතිහාසය අරන් බලන්න.. අවුරුදු පහෙන් පහට ආණ්ඩු එනවා.. ආණ්ඩු යනවා. ඒ අය බලයට එන්න කලින් ලෝකෙ නැති සැලසුම් හදලා.. යෝජනා හදලා.. මහජනතාව ගොනාට අන්දලා, පාර්ලිමේන්තුවට එනවා. ඊට පස්සේ ඔය කියපු දේවල් කරන්න කාටද පුළුවන් වුණේ? ඊටත් පස්සේ තවත් අවුරුදු පහකින්, තවත් ආණ්ඩුවක් එනවා.. මේ උන්දැලා රඟපාන්නෙත් අර නාටකේම තමයි.. අලුත් සැලසුම් වැඩසටහන් හදන එක විතරයි, කරපු කෙහෙල් මලක් නෑ. මේකෙන් අන්තිමට රැවටුනේ මේ රටේ අහිංසක ජනතාව විතරයි. හතලිස් අටෙන් පස්සේ මේ රටේ බිහිවුණ මොනතරම් සංචාරක ඇමතිලා ප්‍රමාණයක් සංචාරක ප්‍රවර්ධන කටයුතුවලට කියලා පිට රටවල් වලට ගියාද.. එහෙම ගියපු ඇමතිලා තමන් ගිය රටවල්වල සංචාරක කර්මාන්තයේ තිබුණ දියුණුව කොයි තරම් ඇස් දෙකින් දකින්න ඇත්ද.. ඒ දැකපු දේවල් වලින් අඩුම තරමේ එක දෙයක් මේ රටට ගෙනල්ලා කරලා තියෙනවද.. හොඳම උදාහරණය තමයි අපේ ජාත්‍යන්තර ගුවන් තොටුපොල. ගුවන්තොටුපොල කියන්නේ ගෙදරක ප්‍රධාන දොරටුව වගේ තැනක්. මෙතනට එන සංචාරකයන් පිළිගන්න විදිහ දැක්කම මේ ශ්‍රී ලංකාවද කියලත් හිතෙනවා. ඇතැම් immigration officers ළඟ හිනාව කියන එක අහලකවත් නෑ. මම දන්නෙ නෑ ඒ අය මොන මානසිකත්වයෙන්ද ඉන්නේ කියලා. Guest ගේ මූණ බලන් නැතුව ඔහේ බුම්මාගෙන ටක් ගාලා පාස්පෝට් එක අරගෙන ඒක බලලා හරි relax එකේ විසි කරලා දානවා. Hello welcome to the sri lanka, ආයුබෝවන්, මේ මොකුත් නෑ.. අපේ ගුවන්තොටුපොල ජාත්‍යන්තර ගුවන් තොටුපළක්, මේ රටේ ආණ්ඩු නම් කීයක් තිබුනද තවමත් අපේ ගුවන්තොටුපොල හරියට ක්‍රමානුකූලව හැදිලා නෑ. Departure section එකයි Arrivals section එකයි කිසිම පිළිවෙලක් නෑ. flight පහක් ආවොත් ගමන් මලු ටික clear කරගන්න පැය ගානක් ඉන්න වෙනවා.
ඊළඟ වැදගත් කාරණය තමයි, ලොබි එක.. මේ ලොබි එකේ ලංකාවේ ඉන්න අහිංසක මනුෂ්‍යයාගේ ඉඳලා හැම තරාතිරකම අය පොදි ගැහිලා ඉන්නවා. ලංකාවට එන විදේශකයාට හරි පහසු මාර්ගයක් එතන දකින්න නෑ. ඔවුන් බරපතල අපහසුතාවයකට පත්වෙනවා මේ Arrivals ලොබි එකේම පොඩි රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඇත්තටම ලැජ්ජයි කියන්න, එතන පරණ බනිස් ටිකකුයි.. තව මොනවා හරි ටිකකුයි තියෙනවා. තේ එකක් බොන්න හරි තැනක් නෑ. මේ රටේ මාරුවෙන් මාරුවට ආව ගිය කිසිම ආණ්ඩුවකට බැරි වුණා, ඔය රෙස්ටුරන්ට් එක හරි කෙනෙකුට පිළිවෙලකට කරගෙන යන්න දීලා ජනතාවට හොඳ සේවයක් සපයන්න. පාස්පෝට් චෙක් කරන්න පැය ගානක් යනව. ගමන් මලු චෙක් කරන්න තවත් පැය ගානක් යනවා. කිසිම පිළිවෙලක් නෑ. හැමෝම ඔලුව අවුල් උණු මිනිස්සු වගේ එහාට දුවනවා මෙහාට දුවනවා.. මේකෙන් වෙන්නේ මේ රටට එන විදේශකයාට පළමු මොහොතේදීම මේ රට එපා වෙන එක විතරයි. මම ඔය කිව්ව ලොබි එකේම වම් පැත්තේ Hotel counters ගහලා තිබුණා.. මීට මාස එකහමාරකට වගේ උඩදී මම ගුවන් තොටුපළට ගියා, Hotel counters ඔක්කොම ගලවලා දාලා.. මට හිතා ගන්න බෑ මේ ගුවන් තොටුපළ කවදද හරියට හැදෙන්නේ කියලා. මම අවුරුදු 40ක් ක්ෂේත්‍රයේ හිටියා.. එදා තිබුණ තත්වේමයි මේ ගුවන් තොටුපළ තවමත් තියෙන්නේ. ඒක ඉතාම කණගාටුවට කාරණාවක්. මට විශ්වාසයක් තියෙනවා වර්තමාන ආණ්ඩුව මේ පිළිබඳව අවධානය යොමු කරලා, මේ ලස්සන රට හරි තැනකට ගේන්න කටයුතු කරයි කියලා.
ඔව්… බහුතරයක් හිතාගෙන ඉන්නේ එහෙම තමයි. සංචාරක කර්මාන්තය කියන්නේ ඉතාමත් සැලකිලිමත් විය යුතු හරිම සංවේදී කර්මාන්තයක්. විදේශීකයෙක් මේ රටට එනවා කියන්නේ, ගෙදරකට අමුත්තෙක් එනවා වගේ වැඩක්. ගෙදරකට අමුත්තෙක් ආවම අපි මුලින්ම කරන්නේ අපේ සංස්කෘතිය අනුව එයාව ආදරෙන් පිළි අරගෙන ගේ ඇතුලට කැන්දගෙන එනවා.. ඊට පස්සේ ඔහුට හෝ ඇයට අපේ ළඟ තියෙන උපරිම සක්කාරය අපි දෙනවා. ඊටත් පස්සේ අපි එයාව ගෙදරින් පිටත් කරන්නේ, සුබ ගමන් නැවත හමුවීම කියලා ධනාත්මක සිතිවිල්ලක් එයාගේ හිතේ ඇති කරලා. මේ රටට එන විදේශ අමුත්තන් කෙරෙහිත් අපි ඇතිකර ගතයුතු වන්නේත් ඔය චින්තනේම තමයි. ඊළඟ වැදගත්ම කාරණාව තමයි ගුවන්තොටුපලේ සිට ගුවන් තොටුපොළ කියන සංකල්පය. ගුවන් ගුවන්තොටුපලෙන් විදේශ අමුත්තෙක් එලියට ආවට පස්සේ එයාව පිළිගන්න ඉන්න guide මහත්තයා හෝ රියදුරු මහත්තයා වේවා, මේ විෂය ගැන හරි අවබෝධයක් තියෙන,කතා කළ යුතු භාෂාව පිළිබඳව හරි දැනුමක් තියෙන, තමන්ගේ භාරයේ ඉන්න විදේශීය අමුත්තව ආදරෙන් රැකබලා ගන්න පුළුවන් කෙනෙක් විය යුතුයි. ඒවගේම රටේ තියෙන දේශපාලනික, පාරිසරික තොරතුරු වගේම ආගමික තොරතුරු, තමන්ගේ අමුත්තට නිවැරදිව ලබා දෙන්න පුළුවන් දැනුමක්ද තිබිය යුතුයි. මේ රටට එන විදේශිකයන් බහුතරයක් දියුණු රටවලින් එන උගත් බුද්ධිමත් මිනිස්සු. ඒ අය මේ රටට එන්නේ, මේ රටේ විවිධත්වය බලන්න.. මෙතැනදී guide මහත්තයාගේ ඉඳන් ත්‍රීවිල් රියදුරු මහත්තයා දක්වා තිබිය යුතු, හැසිරීම කියන කාරණාව ඉතාමත්ම වැදගත් වෙනවා පාරේ ඉන්න සුළු වෙළෙන්දාගේ ඉඳන් මේ හැම කෙනෙක්ම අවංකව උත්සාහ කරන්න ඕනි තමන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දීලා ඔවුන් තුළ Positive images ඇති කරන්න. කරන කියන හැම දෙයක්ම පොසිටිව් වෙන්න ඕනි.. ලංකාවෙ දින කිහිපයක් සංචාරය කරලා අවසානයේ ගුවන්තොටුපලට ගෙනල්ලා ඇරලලා ආයුබෝවන් කියනකොට, ඇස් දෙකට කඳුළු එන්න අපි සර්විස් එක දෙන්න ඕනී. අවුරුදු හතළිහක මගේ සේවය ඇතුලේ මම ගුවන්තොටුපළට ගෙනත් දාපු හැම විදේශිකයෙක්ම ඇස් දෙකේ කඳුළු පුරවගෙන තමයි මේ රටින් ගියේ. ලංකාවේ මිනිස්සුන්ට පුදුමයි, විදේශිකයන් මාව බදාගෙන අඬනකොට.. ඔවුන්ගේ හදවතේ අපි නිතර රැඳෙන්න ඕනී..අපි දෙන සර්විස් එකෙන්,.. අපි හැසිරෙන විදියෙන්.. කතා කරන භාෂාවෙන්.. අපි ඔවුන්ගේ හිත දිනා ගන්න ඕනි. එතකොට අපිට පුළුවන් ටාගට් කරන්න එක විදේශිකයෙක්ගෙන් අඩුම වශයෙන් තවත් විදේශිකයන් දහදෙනෙක්වත් මේ රටට ගෙන්වන්න. මේක තමයි මගේ සැලසුම….
නෑ මම කාටවත් ඇඟිල්ල දික් කරේ නෑ… මේකට මූලික හේතුව තමයි මම කලින් කිව්වා වගේ, මේ කර්මාන්තයට ජාතික ප්‍රතිපත්තියක් නැතිකම. නිවැරදි සැලසුමක් නැතිකම.. තව අවුරුදු විස්සකින් හොඳ සංචාරක කර්මාන්තයක් මේ රට බලාපොරොත්තු වෙනවා නම් අපි දැන්ම ඉඳන්ම මේ වැඩේ පාසලෙන් පටන් ගත යුතුයි. ප්‍රාදේශීය මට්ටමින් පටන් ගත යුතුයි. 1948 ඉඳලා තවමත් අපි දියුණුවේ දොරටුව හොය හොය ඉන්නවා.. මම මෙතනදී මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්නේ නෑ. හේතුව මිනිසුන්ව දැනුවත් නොකිරීම තමයි මේ ප්‍රශ්නයට ප්‍රධාන හේතුව. වගකිවයුත්තන්ගේ වගකීම තමයි මිනිස්සුන්ට හරි මාර්ගය පෙන්වා දීමේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම. විදේශිකයා ගුවන් යානයට ගෙවන බදු මුදලත්, තැඹිලි ගෙඩියට ගෙවන රුපියල් 100ත්, මේ රටේ ආර්ථිකයට ලබාදෙන වාසිය අතිවිශාලයි කියන පණිවිඩය, අපි ජනතාව අතරට රැගෙන යා යුතුයි. පාසල් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් අපි ඔවුන්ව උපරිමයෙන් දැනුවත් කළ යුතුයි. මේ රටේ තියෙන දිස්ත්‍රික්ක විසිපහ හරියට සැලසුම් කරලා සංචාරක කර්මාන්තය කියන විෂය ගැන, ගමින් ගමට ගිහින් මිනිසුන්ව හරියට දැනුවත් කළොත් අපේ රටේ සංචාර කර්මාන්තය හොඳ මගකට ගන්න පුළුවන්. ඒක ස්ථිරයි.. සීගිරි ගලෙන් අපි මොන තරම් සල්ලි කන්දරාවක් හම්බ කරනවද.. 1965 ඉඳලා ඔය ගල පෙන්නලා ට්‍රිලියන ගණන් හම්බ කරන්න ඇති. ඒත් සීගිරිය ගමේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවන මට්ටම තවමත් තියෙන්නේ පහළ තැනක. එදා තිබුණු සීගිරිය ගමම තමයි තාමත් තියෙන්නේ. ඔය ගලින් හම්බ කරන ඩොලර් වලින් සියයට පනහක් ගමේ සංවර්ධනයට අපි යොදවන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ගමේ තියෙන පාරවල් ටික හරියට හදලා, ගමේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම දියුණු කරල, එන විදේශිකයාට අවශ්‍ය පහසුකම් ටිකත් හදලා දෙන්න.. සුද්දව මේ රටට ගෙන්නලා ගුවන්තොටුපොල බද්දයි, වීසා ගාස්තුයි යන තැන්වල ඇතුල් වීමේ ගාස්තුයි, අර ගාස්තුයි.. මේ ගාස්තුයි.. අරගෙන සල්ලි හෙව්වට වැඩක් නෑ. සීගිරිය ගම තවමත් දියුණු නැත්නම්. යාල අවට ගම්මාන තවමත් දියුණු නැත්නම්.. මේ හම්බ කරන සල්ලි වලින් සියයට පනහක් යොදවලා ඇයි අපිට මේ දුප්පත් මිනිස්සුන්ගේ ජීවන මට්ටම හදන්න බැරි.. අපි එහෙම කරානම් මේ රට බලන් ඉද්දි දියුණු කරන්න පුළුවන් නේද…
ඇත්තම කියනවනම් දැන් මේක නූල් බෝලයක් පටලවා ගත්තා වගේ පටලවගෙන තියෙන්නේ.. අතනින් ගන්න සල්ලි ටික මෙතෙන්ට දෙනවා… ආයිත් තවත් තැනකට දෙනවා.. මේ යන්නේ තනිකර රෝල.. කොටින්ම කියනවනම් මේක හරියට තෝරා බේරාගෙන, මුදල් හරියට පාලනය කරගන්න බැරිකමක් තියෙන්නේ. මෙතැනදී මුදල් අමාත්‍යංශයයි, සංස්කෘතික අමාත්‍යාංශයයි වහාම එකතු විය යුතුයි.. හැම තැනම වංචාව දූෂණය නිසා හම්බ කරන මුදල් ටික විධිමත් විදිහට පාලනය කරගත යුතුයි.
සත්තකින්ම ඔව්.. මම උදාහරණයක් හැටියට සීගිරියම ගන්නම්, අපේ ලොකුම සීසන් එක තමයි නොවැම්බර් ඉඳලා අප්‍රේල් දක්වා තියෙන සීසන් එක මේ කාලසීමාව තුළ අපි ඩොලර් මිලියන ගණන් හම්බ කරනවා. අපි නිකමට හිතමු මිලියන 100ක් කියලා ඇයි ඒකෙන් මිලියන පනහක් සීගිරිය වෙනුවෙන් වියදම් කරන්න බැරි. මගේ තර්කය ඒකයි…
Sustainable Tourism කියලා මහලොකුවට කයිය ගැහුවට, සීගිරියට එන සුද්දගෙන් සීගිරියේ ගමේ මිනිහට සෙතක් ලැබෙන්නේ නැත්නම්, ඇති වැඩේ මොකක්ද.. සොබාදහම අපිට අපූරු ගලක් දීලා තියෙනවා.. කාශ්‍යප රජතුමාට පින්සිද්ධ වෙන්න ඒකෙ පැලැස් එකක් හැදුවා.. ඊට පස්සේ ඒක ලෝක ප්‍රසිද්ධ වුණා.. ආපු ගියපු හැම ආණ්ඩුවක්ම වැඩ කළේ මේක අපේ ගල,.. අපිට ඕන දේ අපි කරන්නේ.. ගමේ ඉන්න උන්ගෙන් අපිට වැඩක් නෑ. මේක පෙන්නලා සල්ලි ගත්තම ඇති කියන චේතනාවෙන්. මේ අදහස තමයි එදා හිටිය බහුතරයක් දේශපාලනඥයන්ට තිබුණේ. අපි සැලසුමක් ඇතිව අවංකව වැඩ කළොත් මේ ක්ෂේත්‍රය තුළින් රටම ගොඩගන්න පුළුවන්.
පුළුවන්.. වර්තමාන ආණ්ඩුව දිහා මං විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා… අපේ ලංකාවේ පළාත් නමයක් තියෙනවා. මුලින්ම ඒ පළාත් නමය තුළ තියෙන සංචාරක ස්ථාන ටික අපි හරියටම හඳුනා ගත යුතුයි. ඊට පස්සේ ඒ ස්ථාන වලින් හම්බ කරන සල්ලි ටිකෙන්, සියයට පනහක් ඒ පළාතේ මිනිස්සුන්ගේ යටිතල පහසුකම් ටික දියුණු කරන්න.. මිනිස්සුන්ගේ ජීවන මට්ටම දියුණු කරන්න.. ළමයින්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කරන්න, යෙදි විය යුතුයි. මේ ටික හරියට කළොත් මේ රට බලන් ඉද්දි දියුණු වෙන්නේ නැද්ද.
සීගිරියට, යාලට, තිස්සමහරාමයට ගිහින් බලන්න, ඒ ගම්වල මිනිස්සු මොනතරම් පීඩනයකින් ඉන්නේ කියලා.. ඇත්තටම අපිට සුද්දෝ අරන් යන්න ලැජ්ජයි. ඒ මිනිස්සුන්ට හරියට අඳින්න රෙද්දක් නෑ… ඉන්න හිටින්න හරි හැටි ගෙයක් දොරක් නැහැ. ජීවිතේ ගැට ගහගන්නේ පැය විසිහතරම දහදුක් විඳලා.. ඇත්තටම හරිම කණගාටුයි.
මගේ අත්දැකීම් අනුව සියයට පනහක් අසුභවාදී පණිවිඩයක් එක්ක යන්නේ. ඒ අය හොඳ මතකයන් මේ රටෙන් අරන් යන්නෙ නෑ. ඔබ කැමතිනම් මාත් සමග එකතුවෙලා සමීක්ෂණයක් කරන්න පුළුවන් ගෙස්ට් කෙනෙක් ආපහු යන්නේ සතුටින්ද, අසතුටින්ද කියල ඔබට ඒකෙන් පැහැදිලි වේවි.. මේ ළඟදි වුන හොඳම උදාහරණයක් මම ඔබට කියන්නම්, ලංකාවට ආපු මගේ Group එකක හිටියා ඔස්ට්‍රියාවේ ඉඳලා ආපු family එකක්,. මම ඒ අයව අදාල හෝටලයට දැමීමට පස්සේ, මේ family එක බීච් එකට ගිහින් තියෙනවා. බීච් එකේදී මේ ක්ෂේත්‍රයේ ඉන්න ලංකාවේ කණ්ඩායමක්, මේ අයට යෝජනා කරලා තියෙනවා National park එකයි කැස්බෑවෝ ඉන්න ෆාම් එකයි පෙන්වන්න අපිට පුළුවන්, හැබැයි ඩොලර් දෙසීයක් අය කරනවා කියලා. මේ ගෙස්ට්ලා යෝජනාවට කැමති වෙලා අපේ කණ්ඩායමත් එක්ක ගිහිල්ලා. අපේ මිනිස්සු National park එකේ අලි පෙන්නනවා කියලා පෙන්නලා තියෙන්නේ, එහා පැත්තෙ තියෙන කන්දෙ විහාරයේ පන්සලේ අලියව… ගෙස්ට්ලා ඇත්ත කාරණාව ගැන දැනගෙන ප්‍රශ්න කරාම, ඩොලර් දෙසිය ඉල්ලලා තර්ජනය කරලා තියෙනවා. බැරිම තැන මේ ගෙස්ට්ලා 119 ගහලා පොලිසිය ගෙන්නලා තමයි, සමථයකට පත් කරගෙන තියෙන්නේ. මේ එක ප්‍රශ්නයක් විතරයි.. මේ වගේ අසික්කිත දේවල් දිනපතාම මේ රටේ ඇතුලේ වෙනවා. අපි යහපත් සංචාරක කර්මාන්තයක් පිළිබඳව හිතනවා නම්, මේ වගේ අමානුෂික දේවල් මේ රටේ සිද්ධිය විය යුතු නෑ.. සංචාරක ප්‍රවර්ධන අධිකාරියයි, සංචාරක පොලිසියයි එකතුවෙලා, ත්‍රීවීල් රියදුරාගේ ඉඳන් ක්ෂේත්‍රයේ ඉන්න සියලුම දෙනාව දැනුවත් කිරීමේ වැඩසටහනකට වහාම යා යුතු වෙනවා.
ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ.. මෙතැනදී වැදගත්ම කාරණාව තමයි, මේ රටේ ජනමාධයට පුළුවන් මේ සඳහා සුවිශාල සහයෝගයක් ලබා දෙන්න. මේ රටේ ටීවී චැනල්, රේඩියෝ චැනල්, පත්තර සගරා කොයිතරම් කන්දරාවක් තියෙනවද. අඩුම වශයෙන් ජාතික නාලිකා දෙකට මෙතනදී පුළුවන් විශාල මෙහෙවරක් කරන්න. මම දන්න විදිහට මේ රටේ සංචාරක ක්ෂේත්‍රය ගැන කතා කරන්නේ, ඔබත් ගුවන් විදුලි සංස්ථාවේ වසන්ත රෝහණත් විතරයි. මේ රටේ කෙල්ලෝ කොල්ලෝ ටික විනාස කරන, මේ කුණු නාට්‍ය තහනම් කරලා.. සංචාරක කර්මාන්තය වගේ රටට යහපතක් වෙන වැදගත්කමක් තියෙන දේවල්, ඉස්මතු කර ගත යුතු කාලය ඇවිල්ලා. අපි මහන්සි වෙලා හරියට ඉගෙන ගත්තොත්, අපිට පහසුවෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් කර්මාන්තයක් තමයි සංචාරක කර්මාන්තය කියලා කියන්නේ.. අපි විදේශිකයාට හොඳ අවංක සේවයක් ලබලා දුන්නොත්, ඒ අය අපිත් එක්ක හොඳ සබැඳියාවක් ගොඩනගා ගන්නවා. ඊට පස්සේ ඒ අය, මේ රටේ අහිංසක මිනිස්සුන්ට උදව් උපකාර කරන්න පවා පෙළඹෙනවා. ඔබට මම හොඳ උදාහරණයක් කියන්නම්. 2024 දී සුනාමියෙන් පස්සේ ලංකාවේ අහිංසක ළමයි තුන්සිය පනහකට උපකාර කරන්න, එක ළමයකුට එක පවුල ගානේ ජර්මනියෙන් මට හොයලා දෙන්න පුළුවන්කම ලැබුණා. මේ ළමයි 350ටම උසස් පෙළ කරලා ඉවර වෙනකම්ම උපකාර ලැබුණා. මේක මිලියන 350ක ප්‍රොජෙක්ට් එකක්…
පාරේ ඉන්න ලේනා පෙන්නලා.. මොනරා, තලගොයා පෙන්නලා.. ඩොලර් හම්බ කරන්න පුළුවන් රටක්නෙ දෙයියනේ මේක…
ඔව් ඒක ඇත්ත.. 1948 ඉඳලා මේ රටේ බලයට පත්වුණු හැම ආණ්ඩුවක්ම මේකට වගකිවයුතු වෙනවා. ඒ අය එදා තමන්ගේ රාජකාරිය රට ගැන හිතලා හරියට කරානම්, අද අපේ රට ස්වර්ග රාජ්‍යයක්…
ලෝකයේ අනෙක් රාජ්‍යයන් එක්ක ගත්තම ශ්‍රී ලංකාව කියන්නේ අවුරුදු දෙදහස් හයසිය ගණනක ඉතිහාසයක් තියෙන රටක්.. මේ රටේ තියෙන සංස්කෘතික වැදගත්කම, භූගෝලීය වැදගත්කම, පාරිසරික වැදගත්කම ගැන මේ රටේ මිනිස්සු මීට වඩා දැනුවත් විය යුතුයි. උදාහරණයක් හැටියට පාසල්වල තියෙනවා අධ්‍යාපන චාරිකා කියලා වැඩසටහනක්,. පාසල් වල ගුරුවරු, ළමයි එක්ක පොළොන්නරුව ගල් විහාරය ළඟට ගියාම ගුරුවරියන් දන්නේ නෑ ගල් විහාරය ගැන ළමයින්ට කියලා දෙන්න.. ට්‍රිප් එකක් යනවා කියලා ඔහේ ළමයි ටික දක්කගෙන ගිහිල්ලා ආපහු හිස් අතින් ගෙදර එනවා.. ඒකෙ ඵල විපාක තමයි අපි දැන් මේ ගෙවන්නේ. විදේශිකයකුට Tour එකක් කරනවා කිව්වට පස්සේ, එයා අපෙන් ඉල්ලනවා Tour program එකක්. ඊට පස්සේ එයා ඒ Tour program එක A To Z කියවනවා. ඊටත් පස්සේ තමයි, එයා මේ රටට එන්න තීරණය කරන්නේ. පුළුවන් නම් කියන්න ලංකාවේ කීයෙන් කී දෙනා අතේදTour guide book එකක් තියෙන්නේ. ලංකාව සම්බන්ධව වැඩිම පොත් කන්දරාවක් ලියලා තියෙන්නේ පිටරට සුද්දෝ. ඒ වගේම අන්තර්ජාලයට ගිහිල්ලා බැලුවම ලංකාව සම්බන්ධව වැඩිම youtube ප්‍රමාණයක් කරලා තියෙන්නේ අපේ ලංකාවේ අයද .. විදේශිකයෝද.. වැඩිපුරම කරලා තියෙන්නේ පිටරට විදේශිකයෝ.
මම මෙතනදි පැහැදිලිවම කියන්නේ, මේ සංචාරක කර්මාන්තය කියන විෂය පෙළපොත්වලට එකතු කරන්න ඕනේ. මේ රටේ හැම ළමයෙක්ම පළමු ශ්‍රේණියේ ඉඳලා සංචාරක කර්මාන්තය ගැන ඉගෙන ගත යුතුයි.. ඉතිහාසයයි, සංචාරක කර්මාන්තයයි දෙක එකට යා යුතුයි. බුද්ධ ධර්මය, ඉතිහාසය කියන විෂයන් දෙකත් එක්ක tourism කියලා විෂයකුත් ඇතුලත් කළ යුතුයි. තව අවුරුදු විස්සකින් මේ රටේ හොඳ සංචාරක කර්මාන්තයක් දකින්න කැමතිනම්.. අද මේක පාසලෙන් පටන් ගන්නම වෙනවා.
මම දකින බරපතලම අඩුපාඩුව තමයි, කිසිම ප්ලෑන් එකක් නැතිකම. ඒ වගේම සමස්ථයකටම අවශ්‍ය යටිතල පහසුකම් මේ රටේ අඩුයි. ලංකාවේ මොන සංස්කෘතික වැදගත් වැදගත්කම තිබුණත්, මොන පාරිසරික වැදගත්කම තිබුණත්, High class එහෙමත් නැත්නම් සල්ලි වැඩිපුර වියදම් කරන්න පුළුවන්, ධනවත් සංචාරකයන්ව අපිට මේ රටට ගෙන්වන්න බැරි වෙලා තියෙනවා. මේකට හේතුව තමයි අපිට මේ රටේ තියෙන පහසුකම් මදිකම. බැංකොක් වගේ රටක් ගත්තම, හෝටල්වල මොනතරම් පහසුකම් තියෙනවද.. මේ රටේ ජාතික විද්‍යාන පහළොවක් තියෙනවා. නමුත් පහසුකම් අඩුයි. යාල ජාතික උද්‍යානය මැදදී ගෙස්ට් කෙනෙක්ට හදිසියෙන් හරි Heart attack එකක් හැදුනොත්, කිරින්ද රෝහලට කිලෝමීටර් විස්සක් යන්න ඕනි. කිසිම පහසුකමක් එතන නෑ. බිලියන ගණනක් හම්බ කරන, යාල කැලේ ඇතුලට ගියාට පස්සේ මොකක් හෝ හදිසි කරදරයක් වුණාම, යාල ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කරගන්න පහසුකම් නෑ… මේවට වැඩපිළිවෙලවල් සකස් විය යුතුයි. ඊළඟ කාරණාව තමයි ලංකාවට විදේශීකයෙක් ආවට පස්සේ අයකරන ඇතුල් වීමේ ගාස්තු.. සීගිරිය හෝ වේවා සංස්කෘතික ත්‍රිකෝණය තුළ හෝ වේවා! මොනතරම් මුදලක් විදේශිකයන්ගෙන් අය කරනවද.. අපි මේ අය කරන ගණන් අඩු කළ යුතුයි. අපි කරන්නේ ගෙස්ට්ලගෙන් හොඳට සල්ලි ගන්නවා. ඒ අයට අවශ්‍ය පහසුකම් ටිකවත් හරියට දෙන්නෙ නෑ…
සුද්දව හූරගෙන කනවා කියලා අපි මේ ක්ෂේත්‍රයේ ඉන්න සාමාන්‍ය, අහිංසක මනුෂ්‍යයාට ඇඟිල්ල දික් කරනවා. අපි ඒ අයට ඇඟිල්ල දික් කරන එක වැරදියි.. ඇත්තටම සුද්දව වැඩියෙන්ම හූරගෙන කාලා තියෙන්නේ මේ රටේ ආණ්ඩු. නුවරයි ,සීගිරියයි, පොළොන්නරුවයි, අනුරාධපුරයයි තමයි සුද්දව වැඩියෙන්ම හූරාගෙන කන්නේ. සීගිරිය බලන්න ඩොලර් 35ක් අය කරනවා කියන්නේ කොයිතරම් අපරාධයක්ද… සීගිරියේ අල්ලපු කන්දට කියන්නේ පිදුරංගල. ගෙස්ට් කෙනෙක්ට පිදුරංගල ටිකට් එක රුපියල් 2000යි.. අල්ලපු සීගිරි ගලට නගින්න රුපියල් දොළොස්දාහත්, හළොස් දාහත් අතර ගානක් අය කරනවා. සීගිරි ගලේ සංස්කෘතික වටිනාකමක් තියෙන්න පුළුවන්. නමුත් අය කරන ගාන වැඩියි. ගෙස්ට්ලා මාත් එක්ක මේ ගැන තදින්ම තර්ක කරනවා. මේ ගාන සීයට තිහකින්වත් අඩු කළ යුතුයි.
නෑ මම ප්‍රශ්නෙන් පිට පැන්නෙ නෑ..අපි තවමත් දියුණු වෙමින් පවතින රටක්. මේ කර්මාන්තයෙන් යම් ආදායමක් අපිට ලැබෙන නිසා, මුදලක් අයකෙරුවට කමක් නෑ. ඒක විදේශිකයන්ටත් ප්‍රශ්නයක් නෑ.නමුත් ඔවුන් පුනු පුනා කියන්නේ මේක To much කියලා.
මම මීට කලින් තිබුණ හැම ආණ්ඩුවකටම යෝජනා පොදි පිටින් දුන්නා… ඒ අය කළේ ඒවා සත පහකටවත් ගණන් නොගෙන කුණු කූඩියට දාපු එක. වර්තමාන ආණ්ඩුව ගැන මට විශ්වාසයක් තියෙනවා, මේ සියල්ල වෙනස් කරයි කියලා. මෙතැනදී ආණ්ඩුව කළ යුතු ප්‍රධානම කාරණාව තමයි, ජාතික ප්‍රතිපත්තියක් හදන එක. හැම අවුරුද්දකම Of season එකක් තියෙනවා. මේ කාලය තුළ අපිට බය නැතුව ප්‍රවර්ධන කටයුතු කරන්න පුළුවන්. මෙතනදි රජයේ මැදිහත්වීම තුළින්, මම කලින් කිව්වා වගේ ප්‍රාදේශීය මට්ටමින් ගම් වලට යා යුතුයි. පාසල් වලට යා යුතුයි. මෙතැනදී අපේ ලංකාවෙ තානාපති කාර්යාලවලට ලොකු වගකින්වත් තියෙනවා. මේ පරවර්ධන කටයුතු වලට සෘජුවම මැදිහත් වෙන්න. ඒ පිළිබඳව රජයේ අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම ජාතික උද්‍යානවල වෛද්‍ය පහසුකම්, සනිපාරක්ෂක පහසුකම් වගේ දේවල් ප්‍රවර්ධනය කළ යුතු වෙනවා. ජාතික උද්‍යානවලට ගියාම සංචාරකයාට පැය ගණන් පෝලිමේ රස්තියාදු වෙන්න වෙනවා. සේවකයෝ ඉන්නේ දෙතුන් දෙනයි. ටිකට් ගන්න පැය ගානක් යනවා.මේවා වෙනස් විය යුතුයි. ඒ වගේම සංචාරක කර්මාන්ත කියන්නේ මොකක්ද කියලා ගුවන් තොටුපළේ ඉන්න ඇතැම් Immigration officers ලට හොඳ brain wash එකක් දිය යුතුව තිබෙනවා. ක්ෂේත්‍රයේ ඉන්න හැම කෙනාටම අවශ්‍ය කරන, නිවැරදි දැනුම දිය යුතු වෙනවා. එහෙම නැතුව මේ රටේ සංචාරක කර්මාන්තය ජීවිතේට ගොඩදාන්න බෑ. තවත් ප්‍රපාතයටම යයි.
ජර්මනිය, ඕස්ට්‍රියාව, සුවිස්ටර්ලන්තය, නෙදර්ලන්තය වගේ රටවලට ගිහිල්ල, මගේ අතින්ම අපේ කෑම හදලා ‘Srilankan Night’ කියලා අපේ කෑම බුෆේ එකක් ඇරේන්ජ් කරලා තමයි, මම ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන්නේ. මේ ප්‍රවර්ධන කටයුතු වලට මට මේ වෙනකන් කිසිම දේශපාලන සහයෝගයක් ලැබිලා නෑ. මං ඒක බලාපොරොත්තු වෙන්නෙත් නෑ.. මගේ යුතුකම මම රට වෙනුවෙන් ඉෂ්ට කරනවා.
ඇත්තටම අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාත්, සංචාර ඇමති විජිත හේරත් ඇමැතිතුමාත්,ජර්මනියේ බර්ලින් නගරයේදී මට හමුවුණා. ඒ අවස්ථාවේදී මම ඔවුන් දෙපලටම මගේ යෝජනා දුන්නා. ඔවුන් මේ ක්ෂේත්‍රය තුළ පවතින අඳුර අයින් කරලා, ආලෝකය ගෙන එන්නට කටයුතු කරනවා කියලා මං විශ්වාස කරනවා.. මං ගැන පම්පෝරි ගහන්න මට අවශ්‍ය නෑ. නමුත් අවුරුදු හතළිහක් මේ රටේ සමස්ථ සංචාරක කර්මාන්තය ගැන මට තියෙන දැනුම සහ අවබෝධයෙන් සංචාරක අමාත්‍යංශයට පුළුවන් මගෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
අනිවාර්යෙන්ම ඔව්.. මට කරන්න පුළුවන් හැම උපකාරයක්ම කරනව. මගේ වගකීම සහ යුතුකම රට වෙනුවෙන් කරන්න මම ඕනෑම වෙලාවක සූදානම්..
අපි හරියට වැඩ කළොත්, අවුරුදු පහක් ඇතුලත මේක හදන්න පුළුවන්. ඒක ස්ථිරයි.. හැබැයි Well plan, well organize කියන දෙක තිබිය යුතුයි. ලංකාවෙ තියෙන පාරවල් ටික හදන්න චීනෙන් හිඟා කෑවනම්,.. ඇයි අපිට බැරි සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියලා ලෝකෙන් ඉල්ලන්න,… මට ඒක කරන්න හැකියාව තියෙනවා.
මම ලෝක සංචාරකයාට කියන්නේ පින් සිද්ධ වෙනවා,.. ඔබ මේ රටට ඇවිත් යන්න එන්න. මේ රටින් ආපහු යනකොට ඔබ ගත්ත පින්තූර, වීඩියෝ, මතක සටහන්, ඔබගේ රටට රැගෙන ගිහින් පුළුවන් තරම් යාළුවන්ට, නෑදෑයන්ට කියන්න, ලංකාව කියන්නේ සුන්දර රටක්, ලංකාව කියන්නේ විදේශිකයන්ව හොඳින් රැකබලා ගන්න ආදරණීය මිනිස්සු ඉන්න රටක්, කියන පණිවිඩය කියන්න කියලා..
මම මේ කතා කරන්නේ මේ රටේ ඉන්න අහිංසක මිනිස්සු වෙනුවෙන්. හැම තත්පරයක්ම විදේශීකයෙක් නිසා මේ රටේ ඉන්න අහිංසක මිනිසුන්ගේ, ජීවන රටාව වෙනස් වෙනවා දකින්න මම හරි කැමතියි.