“ඩෙංගු අධි අවදානම් කලාප ලැයිස්තුව මෙන්න– රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව”
පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සහ මර්දන කටයුතු කඩිනම් කිරීමට දිවයින පුරා දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව මේවනවිට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් බහුතරයක් මීට ඇතුලත්ව තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ මහා නගර සභා බලප්‍රදේශයෙහි බත්තරමුල්ල, මහරගම, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩඋයන සහ ගොතටුව වැනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසක ග්‍රාම නිලධාරී වසම් අධි අවදානම් සහිත බව හඳුනා ගෙන ඇති අතර,ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, සීදුව, කැලණිය, රාගම, මිනුවන්ගොඩ, මීගමුව, බියගම, වත්තල, කටාන සහ මහර ඇතුළු ප්‍රදේශ රැසක ග්‍රාම නිලධාරී වසම් ද මෙම අවදානම් ලැයිස්තුවට එක් කර ඇත.
මෙහිදී කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මතුගම, පානදුර, වඩ්ඩුව, කළුතර සහ පායගල යන ප්‍රදේශවල වසම් මේ යටතට ගැනෙන අතර,ගාල්ල, හම්බන්තොට, මාතර, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල , පුත්තලම, බදුල්ල, මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටි ග්‍රාම නිලධාරී වසම් ද මෙම අධි අවදානම් ලැයිස්තුවට අයත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.