“2026 ජගත් පරිසර සතියට අදාළ චක්‍රලේඛය නිකුත් වේ”
ලෝකවාසී ජනතාව පාරිසරික සංරක්ෂණය උදෙසා අවදි කළ 1972 වසරේ සිට ක්‍රියාත්මක වන ජගත් පරිසර දිනය, මෙවර 54 වන වරටත් 2026 ජුනි මස 05 වන දින ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
“Urgent Climate Action”- කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය- යන ගෝලීය තේමාවට සමගාමීව, ශ්‍රී ලංකාව “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව “දලුලන්න ඉඩදෙන්න” නමින් ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් රට පුරා ක්‍රියාවට නංවයි. 2025 වසරේදී ලබා දුන් පාරිසරික පොරොන්දු ප්‍රායෝගිකව සාර්ථක කර ගනිමින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ ඉහළ යන ගෝලීය උෂ්ණත්වය කළමනාකරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කිරීම මෙවර වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
මෙම සුවිශේෂී වැඩසටහනට සමගාමීව මැයි 30 සිට ජුනි 05 දක්වා කාලය “ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එම සතිය තුළ ආකල්ප ප්‍රවර්ධනය, පවිත්‍රතාවය, වායු දූෂණය පාලනය, ජෛව විවිධත්වය සුරැකීම, ජල සංරක්ෂණය සහ වෙරළ පවිත්‍ර කිරීම වැනි ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දිනපතා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත. මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් ලද අත්දැකීම් පාදක කරගනිමින්, මධ්‍යම කඳුකරයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කර අනාගත දේශගුණික කම්පනවලට ශක්තිමත්ව මුහුණ දිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු වී තිබේ.
මෙම ජාතික වගකීම ඉටු කිරීමෙහිලා රාජ්‍ය හා පෞද්ගලික අංශය, තරුණ ප්‍රජාව සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. ජාතික පරිසර සතිය තුළ රුක් රෝපණය, පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ඩිජිටල්කරණය වැනි ක්‍රියාමාර්ග ඔස්සේ පාරිසරික සංරක්ෂණය සිදු කිරීම සඳහා කටයුතු කරනු ඇත. අනාගත පරපුර උදෙසා පරිසර සංවේදී ප්‍රජාවක් බිහිකිරීමේ සත්කාරයට සමස්ත ජනතාවගේම සක්‍රීය දායකත්වය අපේක්ෂා කර සිටිමු.