Search
Close this search box.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න

විනය, නායකත්වය හා පෞරුෂ සංවර්ධනය පෙරදැරි කරගනිමින් දේශීය තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම අරමුණු කරගත් වාලහේන ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ 2026 – I කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානෝත්සවය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 12 වනදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එම අවස්ථාවට සහභාගී වී සිටි තරුණ තරුණියන් අමතමින් විශේෂ දේශනය පැවැත් වූ අමාත්‍යවරයා කියා සිටියේ අනාගත ලෝකයට ගැළපෙන ‘සුහුරු පුරවැසියන්’ (Smart Citizens) බිහි කිරීම රජයේ මූලික ඉලක්කය බවයි.

“අනාගත ලෝකයට ගැළපෙන ‘සුහුරු පුරවැසියන්’ බිහි කිරීම රජයේ මූලික ඉලක්කයයි”

මෙම පළමු කණ්ඩායම සඳහා තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව සහ ජීවන කුසලතා සංවර්ධනය යන ක්ෂේත්‍ර ඔස්සේ වෘත්තීය මෙන්ම සමාජීය වශයෙන් බලගැන්වීම ඉලක්ක කරගත් විධිමත් පාඨමාලාවක් හා බැහැරගත පුහුණුවක් පවත්වා තිබූ අතර, එය සාර්ථකව නිම කළ තරුණ තරුණියන් වෙත අමාත්‍යවරයා අතින් සහතික පත් ප්‍රදානය කෙරිණි.

මෙහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ නව මාවත පිළිබඳව ද අදහස් දැක් වූ අමාත්‍යවරයා නව රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 9 වසර අවසානයේදී පවත්වන ජාතික විභාගයෙන් පසුව, සිසුන්ට තමන් කැමති පරිදි ශාස්ත්‍රීය අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය තෝරා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව  පෙන්වා දුන්නේ ය.  

හුදෙක් උපාධිධාරීන් පමණක් නොව, වෘත්තීය නිපුණතාවයෙන් පිරිපුන් ශිල්පීන් ද එකවර සමාජගත විය යුතු බවත්, ඒ සඳහා රට පුරා තාක්ෂණික විද්‍යාල 50ක් අලුතින් ඇති කිරීමට හෝ පවතින ඒවා වැඩිදියුණු කිරීමට රජය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

සමාජය තුළ දැඩි කතිකාවකට ලක්වූ ‘සිස්ටම් චේන්ජ්’ හෙවත් ක්‍රමවේදයේ වෙනස පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, එම වෙනස ආරම්භ විය යුත්තේ පුරවැසියාගේ මනසින් සහ භාවිතයෙන් බවයි. පුද්ගලයන් බේරේ වැවට වැටුණු පමණින් ක්‍රමය වෙනස් නොවන බවත්, පුරවැසියා අභ්‍යන්තරයෙන් ශක්තිමත් වී වගකීම් සහගතව මැදිහත් වන්නේ නම් ඕනෑම පාලනයක් යටතේ රට යහපත් මාවතකට ගත හැකි බවත් ඔහු පැවසීය.

වයස අවුරුදු 12-17ත් අතර පසුවන පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට රජය සියයට 90ක් පමණ සාර්ථක වී ඇති බවත්  මින් ඉදිරියට එම උවදුර මුලිනුපුටා දැමීමට නම් තරුණ පරපුර කිසිදු අත්හදා බැලීමකට හෝ මත්ද්‍රව්‍ය සඳහා ඉඩ නොතබා “නැත” (No) යන ස්ථාවරයේ සිටිය යුතු බවත්  අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන් ම වෘත්තීය දක්ෂතාවලට අමතරව සාහිත්‍යය, සංගීතය, කලා කුසලතා සහ ක්‍රීඩාවන්හි නිරත වීමේ අත්‍යවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. බෝ නොවන රෝගවලින් තොර නිරෝගී සමාජයක් බිහිකිරීම සඳහා ‘ජීවත් වන අවුරුදු ගණන’ වෙනුවට ‘නිරෝගීව ජීවත් වන අවුරුදු ගණන’ ඉහළ නංවා ගැනීමට තරුණ පරපුර ක්‍රියා කළ යුතු බව පවසමින් අමාත්‍යවරයා සිය දේශනය අවසන් කළේය.

මෙම අවස්ථාවට දිමුතු පදනමේ සභාපති ජූඩ් නිකලස් පියතුමා, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා සහ වාලහේන ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානාධිපති කපිතාන් කේ. එම්. ඩි. කටුගම්පල මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ දෙමාපියන් රැසක් සහභාගී වී සිටියහ.

Translate »