‘වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහනට සමගාමීව ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය
කිරීමේ කටයුතු ඊයේ (10) ආරම්භ වූයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් ඇතුළු දේශපාලන හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙනි.
දිට්වා ආපදාවෙන් විනාශ වූ ලෝක උරුම ඇළහැර අමුන මූලික අදියරේ ප්‍රතිසංකරණය සදහා යොදවා ඇති ඇස්තමේන්තු ගත මුදල රු.309,144,000.00 කි.
“ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි”
මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.
“පොළොන්නරුව දිස්ත්‍රික්කය ගත්තොත් 90%ක්ම තියෙන්නේ වී වගාව. එක එක විරුද්ධවාදීන් විවිධ මත පළ කරන නිසා මම පණිවිඩයක් කියන්න කැමතියි. යල කන්නයට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රට ඇතුලට ගෙනල්ලා අවසානයි. ඇති තරම් පොහොර තියෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පහුගිය දවස්වල යල කන්නයට පොහොර බෙදීම ආරම්භ කළා. පෞද්ගලික අංශය යූරියා බෙදන එක නැවැත්තුවා. ඒ අපේ ඉල්ලීමකට අනුව. දැන් මේ වෙනකොට පෞද්ගලික ආයතනවලටත් පොහොර බෙදා හැරීමට අනුමැතිය ලබා දීලා තියෙනවා.
අපි කෘෂිකර්මාන්තයේදී කුඹුර වතුර බැඳලා හාලා නිසි වේලාවට වගා කටයුතු ආරම්භ කරලා නිසි වේලාවට පොහොර යොදලා අනෙකුත් යෙදවුම් කරලා 120 මිලකට වී අලෙවි මණ්ඩලය වී ගත්තත්, තාමත් ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයට සාධාරණය හොඳම විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි මුහුණ දීලා තියෙන එක අභියෝගයක්. අභියෝග එන්නේ ජයගන්න. ඒ නිසා අභියෝග එන එක ප්‍රශ්නයක් නෙවෙයි. අලුතෙන් වී වගාව සඳහා ඉඩම් වැඩි කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපි දැන් වැඩ කරගෙන යන්නේ වගා කරන භූමියෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහායි. අපි ගොවිමහතුන්ගෙන් ඉල්ලන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් අනුගමනය කරන්න කියලයි. නිසි වේලාවට නිසි ප්‍රමාණයට අපි ගහට සලකන්න ඕනේ. දැන් අපි හිරවෙලා තියෙන තැන තමයි අස්වැන්න බොහෝ පොඩි කාලයක් ඇතුළත තමයි එළියට එන්නේ. විශාල අස්වැන්නක් එකවර වෙළඳපොළට ආවම මිල, අලෙවි කර ගැනීම සම්බන්ධව ප්‍රශ්න එනවා. දැන් ඒකට උත්තර හොයන්න වෙලා තියෙනවා. අපි පුංචි කාලයේ ගොයම් කොළය කියලා දෙයක් අපිට පේන්න තිබුණා. ගහේ කොළය නෙවෙයි. ගොවි මහත්වරු මේ ගැන දන්නවා. ගොයම් කොළය නිසා පිදුරු ගහත් එක්කම වී කල් තියාගන්න පුළුවන්. ගොයම් පාගලා වී ටික ගත්තට පස්සේ වී බිස්සේ හරි අටුවේ හරි තියාගන්නවා. දැන් ඒකත් නැහැ. ඒ කියන්නේ ගබඩාකරණයේ කාර්යය නැහැ.
දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැකේජ් එකක් තියෙනවා. පොළව අඟල් හයක් කඩන්න ඕනේ. රසායනික පොහොර අදාළ නිර්දේශය අනුව යොදලා, අමතර වශයෙන් කාබනික පොහොර යෙදිය යුතුයි. ගොවියා ලබාගන්න තෙත වී ගොවියාටම වේලාගැනීමේ ක්‍රමවේදයක් අපි ඇති කළ යුතුයි. ගොවියාටම වී ටික වේලා ගැනීම සඳහා වන ක්‍රමවේදයක් දැන් ගේන්නට ඕනේ. ගොවියෝ කිහිප දෙනෙක් එකට එකතු වෙලා හරි තමන්ගේ වී ටික වේලාගෙන තබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා.
ඊළඟට යම් කාලයක් ගබඩා කරගෙන තබා ගත යුතුයි. අපි වැඩසටහනක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න ඉන්නවා. ඒ සඳහා රජයෙන් ගබඩා හදනවා. වී අලෙවි මණ්ඩලය ගැන නෙවෙයි කියන්නේ. ගෙදර ගබඩාවක් නැත්නම්, ප්‍රමිතිගතව වී වේලලා රජයේ ගබඩාවල තියන්න පුළුවන්. තමන්ට ඕන වෙලාවට ගන්න පුළුවන්.
ආර්ථික විවිධාංගිකරණයක් ගොවියාටත් අවශ්‍යයයි. කිරි හරක් පස් දෙනෙක්වත් හදාගන්න පුළුවන් නම් ඒක වැදගත්. වෙනත් ආදායම් මාර්ග ගැනත් බලන්න වෙනවා, වී වගාවෙන්ම යැපෙන්නේ නැතුව. ආදායම් විවිධාංගිකරණයක් තිබිය යුතුයි.
රටේ ආර්ථිකය නතර වෙලා තිබුණා කියලා හැමෝම දන්නවා. දැන් රටේ ආර්ථිකය දුවන්න පටන් අරන් තියෙනවා. ආර්ථික කටයුතු දුවන්න නම් පහළ ජන කණ්ඩායම් අතට මුදල් එන්න ඕනේ. ජාතික ආදායමෙන් 80%ක් යන්නේ ටික දෙනෙකුට. එතකොට ආදායම් පහළට ගලා එන්නේ නැහැ. පහළ දුප්පත්කම වැඩි වෙනකොට ඒක ආර්ථිකයට අවාසියි.
අපි බලයට එනකොට රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 24,250යි. දැන් රුපියල් 40,000යි. මූලික වැටුප වැඩි වුණාම හැම දීමනාවක්ම වැඩිවෙනවා. රාජ්‍ය සේවකයා තමන්ගේ මුදල් වියදම් කළාම පහළ සිල්ලර කඩය දක්වාම ආර්ථිකය දුවන්න පටන් ගන්නවා. වෙනදා හැම අයවැයක්ම ආවම කිව්වේ පහළට බෙදනවා කන්. හැන්දෙන් උඩට බෙදා ගන්නවා සවලෙන් කියලා. අපේ ආණ්ඩුවෙන් මොකද කළේ? උඩට කං හැන්දක්වත් ගත්තේ නැහැ. ජනතාවට බෙදුවේ සවලෙන්. අපිම අත උස්සලා අපේ විශ්‍රාම වැටුප නැති කළා. ඇමතිවරුන්ගේ නිල නිවාස අත්හැරියා. ජනාධිපතිවරුන්ට දීලා තිබ්බ අනවශ්‍ය දේවල් අයින් කළා.
ගොවි ජනතාව අකර්මණ්‍ය නොවී කෘෂිකර්මාන්තයේ යෙදෙන තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. අහු මුළුවල තියෙන කුඹුරු කෑලි පවා දැන් වගා කරනවා. වී වගාව වාසිදායක පැත්තට පෙරලලා තියෙනවා. පොළොන්නරුවේ තරම් වහ බිව්වේ නැහැ ලංකාවේ කොහෙවත් වී ගොවියෝ.
මේ රට පාලනය කළේ ප්රභූවරු. ලංකාවේ පළවෙනි වතාවට තමයි පොදු මහජනයාගේ පාලනයක් බිහි කරලා තියෙන්නේ. ඒ නිසා බලය ගිලිහුණු ප්‍රභූ පැලැන්තිය කලබල වෙලා ඉන්නේ. ප්‍රභූ නොවන මහජන පාලනයක් මගින් ඇති නැති පරතරය අඩු කරමින් ආර්ථිකය නැවත සක්‍රීය ලෙස දුවවන්න පටන් අරන් තියෙන්නේ. අන්න ඒ කටයුත්තෙදි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යයත් විශාලයි. රාජ්‍ය ආයතන වලට අයවැයෙන් ඇති තරම් මුදල් වෙන් කරලා තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ අපේ රාජ්‍ය සේවයට සමාජ යාන්ත්රණයට මේ වෙලාවේ හැකියාවක් නැහැ මුදල් වෙන් කළාට ඒවා සම්පූර්ණයෙන් සංවර්ධන කටයුතුවලට යොදවන්න. එතනයි ප්‍රශ්නෙ තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ.
මහජන ආණ්ඩුවක් විදිහට පහළට ධනය ගලාගෙන එන පියවර දිගටම ගන්නවා. රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්නත් ජනතාවට ආර්ථික ප්රතිලාභ ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. අපි ක්‍රියාත්මක කරන්නේ ආර්ථික ප්රජාතන්ත්රවාදී වැඩපිළිවෙළක්.”