“ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ ජය ශ්‍රී මහා බෝධි අංකුරය උතුරු ඇමරිකාවට”
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් සහ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළු පූජනීය වස්තූන් සමූහයක්, අතිමහත් බැතිමතුන් පිරිසකගේ ගෞරව බහුමාන මධ්‍යයේ පසුගිය මැයි 01 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් ගුවන් තොටුපළ වෙත වැඩම කරවන ලදි.
මෙම පූජනීය වැඩම කරවීම සඳහා ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය සමඟ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු දූත පිරිස ගුවන් තොටුපළේ දී පිළිගනු ලැබී ය.
එහි දී ඔවුන් පිළිගැනීම සඳහා පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා, කොන්සියුලර් ජනරාල් ලංකා පන්නිල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ගුවන් තොටුපළේ සිට අතිඋත්කර්ෂවත් රථ පෙරහැරක් මගින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ ජය ශ්‍රී මහා බෝධි අංකුරය ටෙක්සාස්හි පිහිටි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවන ලදී. මෙම අවස්ථාව සඳහා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව මෙන් ම වියට්නාම් ජාතික බැතිමතුන් ද විශාල පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි.
මහජන ගෞරවය හා වන්දනාමාන කටයුතු සඳහා මැයි මස 02 වන දින සිට මෙම ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි. ඇමරිකාවේ වෙසෙන බෞද්ධ ජනතාවට මෙය ඉතා විරල ගණයේ ආගමික අවස්ථාවක් වනු ඇත.