Search
Close this search box.

“රට රැකියා පෙන්වා කෝටි ගණන් මුදල් ගැරූ මහරගම කත කොටුවෙයි”

  • ශිෂ්‍ය වීසා ආයතනයකුත් පවත්වාගෙන ගිහින්

ඇල්බේනියාවේ හා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම ප්‍රදේශයේ Global Educate Consultancy නමින් ශිෂ්‍ය වීසා ලබාදෙන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන යමින් විදේශ රැකියා ලබාදීමට මෙම කාන්තාව මුදල් අයකර ඇති අතර, කාර්යාංශයට ලද පැමිණිලි අනුව ඇය දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් රවටා වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වේ.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව වංචනික අයුරින් පවත්වාගෙන ගිය මෙම ආයතනය කාර්යාංශ විමර්ශන නිළධාරීන් විසින් වැටලීම් කරන ලද අතර, එහි තිබී රැකියා ගිවිසුම් ඇතුළු ලේඛන රැසක්ද නිළධාරීන් භාරයට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

මේ අතර, මීරිගම ප්‍රදේශයේ ASPA නමින් වංචනික ආයතනයක් පවත්වාගෙන යමින් ජපානයේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකරන බවට කාර්යාංශයට ලද පැමිණිලි 3ක් අනුව විමර්ශන නිළධාරීන් විසින් වැටලීමක් සිදුකරන ලදී. එහිදී කාර්යාංශ  නිළධාරියෙකු උපාය දූතයෙකු වශයෙන් යොදවා මෙම ජාවාරම්කරුවන් කොටු කරගැනීමට විමර්ශන නිළධාරීන් සමත්වූ අතර, එහි ප්‍රථිඵලයක් ලෙස පළමු සැකකරු ලෙස මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හා දෙවන සැකකරු වශයෙන් ජාඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අප්‍රේල් මස 7 දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, පළමු සැකකාරිය අප්‍රේල් මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, දෙවන සැකකරු ඇප මත මුදාහැරීමටත් නියෝග කර තිබේ.

Translate »