“ඊශ්‍රායලයට එල්ල වූ මිසයිල ප්‍රහාර වීඩියෝ ගත කරන්න ගිය ලාංකිකයන් සිව් දෙනෙකුට තුවාල”
ඊයේ රාත්‍රියේ දිමෝනා ප්‍රදේශයට එල්ලවූ මිසයිල ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි.
එම නිවේදනයට අනුව, ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඔවුන් ආරක්‍ෂිත ස්ථානවල රැකවරණය නොලබා එළිමහන් ප්‍රදේශයක සිට අදාළ සිද්ධිය වීඩියෝ ගත කොට ඇති බවද, ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට සලස්වා ඇති බවද සඳහන්.
මෙම ශ්‍රී ලාංකිකයන් හතර දෙනා තුවාල ලබා ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් ගොඩනැගිලිවල වීදුරු කඩා වැටීම නිසා එම වීදුරු කැබලි හිසට හා ශරීරයේ වෙනත් ස්ථානවලට පතිතවීමෙන් ලද තුවාල හේතුවෙන් බවද සඳහන්.
මෙවැනි අත්තනෝමතික ක්‍රියාමාර්ග ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ විසින් ලබා දී ඇති උපදෙස් උල්ලංගනය කිරීමක් බව සඳහන් කර සිටින නිමල් බණ්ඩාර මහතා,මිසයිල ප්‍රහාර ඇතිවීමට විනාඩි තුනකට පෙර ලබා දෙන සයිරන් හඩ ඇසුණු වහාම ආරක්‍ෂිත ස්ථානයකට ගොස් රැකවරණය ලබාගන්නා ලෙස ඊශ්‍රාලයේ වෙසෙන ශ්‍රී ලාංකීය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.