Search
Close this search box.
  • අඩු මිලටත් වඩා අඩුවෙන් බඩු ගන්න – ලංකා සතොසට එන්න

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන පරිදි රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන  ලංකා සතොස හරහා විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ඊයේ (20) සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන බව කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසා සිටි.

“සතොසින් පිරි අවුරුදු සිරි” යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 600කට 40% දක්වා වට්ටම් පිරිනැමෙන අතර රුපියල් 2500ට වැඩි සෑම මිළදී ගැනීමක් සදහාම අගනා ත්‍යාග පිරිනමන කූපන් පතක් හිමි වේ.

භාණ්ඩ වර්ග 600කට සතොසෙන් වට්ටම්

එම කූපන් පත් අතරින් ප්‍රවර්ධන වැඩසටහන අවසන් වන අප්‍රේල් මාසය අවසානයේ දී දිනුම් ඇදීමක් මගින් තෝරා ගන්නා ජයග්‍රාහකයන්ට BAW ඉලෙක්ට්‍රික් මෝටර් රථයක්, Electric Scooter යතුරුපැදි, ගෘහ භාණ්ඩ කට්ටල, Smart ජංගම දුරකථන ඇතුළු ත්‍යාග පිරිනමනු ලබයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කිරීම් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙන අතර ඉදිරියේදී තව තවත් මිල අඩුකිරීම් සිදුකිරීමට ලංකා සතොස ආයතනය සැලසුම් කර තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය  වසන්ත සමරසිංහ මහතා මෙහිදී කියා සිටියේ,

 “උත්සව සමයේදී රටේ ජනතාවට හිඟයකින් තොරව භාණ්ඩ ලබා ගැනීමට අවශ්‍ය කරන සැලසුම වෙනුවෙන් ලංකා සතොස ආයතනය සූදානම් වුණා. යුදමය තත්ත්වය වාර්තා වෙන්නේ පෙබරවාරි මාසය අවසානයේ. අපි මාර්තු මාසයේ මුල සිටම මේ සඳහා වූ සූදානම නිසා තමයි අපිට පුළුවන් වුණේ, උත්සව සමය සදහා හිඟයකින් තොරව වෙළෙඳපොළ මිලටත් වඩා අඩුවෙන් පාරිභෝගික ජනතාවට සහන දෙන්න. ඉතිං ඒකේ අරමුණ මේ මොහොතේ ලංකා සතොස ලාභ ලැබීම වෙනුවට ජනතාවට අනෙකුත් එන පීඩාවන් හා දුෂ්කරතාවන්ට සවියක් වෙමින් ඔවුන් ලබාගන්නා බඩු මල්ලෙන් හෝ සහනයක් ලබා ගත හැකි වටපිටාව සැකසීමයි.

අපි සතු 430කට ආසන්න වෙළෙඳසැල් හරහා ඉදිරි උත්සව සමය අවසන් වන තෙක් මෙම සහන මිලට භාණ්ඩ ලබාදීමට කටයුතු කරනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට මේ රටේ ජනතාවට ආණ්ඩුවේ ආයතන යොදාගෙන ලබා දිය හැකි උපරිම සහනදෙන්න අපි කටයුතු කරනවා. එදිනෙදා වැඩ කරන ජනතාවට තෙල් හිඟවීම තුළින් තණකොළ කපන කෙනාට, ලී ඉරණ කෙනාට, කුලී වැඩට යන කෙනාට, යතුරුපැදියෙන් එදිනෙදා රැකියා වලට යන අයට දුෂ්කරතාවන් ඇතිවෙලා තියෙනවා. ඒ දුෂ්කරතාවන්වලදී ඇතිවන යම්කිසි ආර්ථික අපහසුතාවක් දැනෙනවා නම් ඒ ආර්ථික අපහසුතාවයට සහනයක් දෙන්නයි අපි ලංකා සතොස ආයතනය හරහා මේ අඩු මිලට බඩු ලබාදීමට තීරණය කරන්නේ. ඒ නිසා අඩු මිලටත් වඩා අඩුවෙන් සතොසින් බඩු ගන්න ලංකා සතොසට එන්න කියලා අපි රටේ ජනතාවට ආරාධනා කරනවා.”

පාරිභෝගික ජනතාවට සහන ලබාදීමට ක්‍රියාත්මක කරන මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් කූට වෙළෙඳුන් තොග රැස්කිරීමට කටයුතු කළ හැකි බැවින් එය වැළැක්වීමට යම් සීමා පැනවීමක් සිදුකරන්නේදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරන ලද අතර අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ලදී.

 “ඇත්තටම ලංකා සතොස කියන්නේ වෙළෙඳපොළේ මිල පාලනය කරන්න, ජාතියේ මිල තීරණය කරන්න, අපි හදපු ආයතනයක්. මේ ආයතනය හදන දවසේ ඉදන් මට සම්බන්ධයක් තියෙන නිසා මං මේක දන්නවා. ඒ නිසා අදත් ලංකා සතොසේ කාර්යභාරය වෙන්නේ වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට හිඟයකින් තොරව බඩු ලබා දෙන එක.

පාරිභෝගිකයා බඩු ගන්නේ ගෙදර අවශ්‍යතාවයටනේ. මුදලාලිලා බඩු ගන්න ගියාමයි ඔය ප්‍රශ්නේ වෙන්නේ. ඒනිසා අපි සීමාවක් දානවා. පාරිභෝගිකයාගේ මිලදී ගැනීම් රටාව අපි දන්නවා. ඒ අනුව මේ සහනය පාරිභෝගිකයාට ලබාගත හැකි වන පරිදි සෑම භාණ්ඩයක්ම සීමාවන්ට යටත්වයි විකුණන්නේ.”

උත්සව සමය වෙනුවෙන් මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනක් දියත්කිරීම පිළිබඳ සැපයුම්කරුවන් ලංකා සතොස ආයතනයට මෙහිදී ස්තූතිය පළ කළ අතර එම වැඩපිළිවෙල සමඟ අත්වැල් බැඳගත් සැපයුම්කරුවන්ට ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ස්තූතිය පළ කරමින් ඉදිරියේදී අනෙකුත් සැපයුම්කරුවන්ටද තමන් සමඟ එක් වන ලෙස ආරාධනයක්ද කරන ලදී.

Translate »