‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව සදාචාරාත්මක, සුපිළිපන් ජන සමාජයක් බිහි කිරීමේ අරමුණින් සමාජීය, පාරසරික සහ ආචාරධර්මීය ප්‍රවේශයක් සහිතව ක්‍රියාත්මක “ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන” වැඩසටහන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) කළුතර දිස්ත්‍රික්කයේ සිව්දෙවිගම කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ එක්ව මෙහෙයවනු ලබන මෙම ජාතික වැඩසටහන, “දැය නංවන සපිරි ගමක්” තේමාව යටතේ තෙවසරක සැලැසැමක් යටතේ ක්‍රියාත්මකය.
“‘ක්ලීන් ශ්‍රී ලංකා’ සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන 322ක්”
මෙම ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය මගින්, ගම්මානයක භෞතික සංවර්ධනයට පමණක් සීමා නොවී, ප්‍රජා ඵලදායිතා සංකල්ප යටතේ අංශ හයක් ඔස්සේ ජනතාව බලගැන්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව අධ්‍යාපනික සංවර්ධනය, ආර්ථික සංවර්ධනය, සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව, සමාජ යහපැවැත්ම මෙන්ම සංස්කෘතික, අධ්‍යාත්මික, පාරිසරික දියුණුව යන ප්‍රධාන සංරචකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ මූලික පදනම වන ආචාරධර්මීය අගයන් හා වටිනාකම් වැඩිදියුණු කිරීම සහ පිරිසිදු සහ තිරසාර පරිසරයක් පවත්වා ගැනීම සඳහා වන ජාතික කැපවීම මෙම ආදර්ශ ගම්මාන මඟින් බිම් මට්ටමට රැගෙන යාම රජයේ ප්‍රමුඛතම අපේක්ෂාවයි. ප්‍රතිපත්තිමය මඟපෙන්වීමක් යටතේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගනිමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් මෙරට සෑම ගම්මානයක්ම ඵලදායිතාවෙන් පිරිපුන්, ආදර්ශමත් ඒකකයක් බවට පත් කිරීම මෙම ජාතික වැඩසටහනේ අවසන් ඉලක්කයයි.
කළුතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝද, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්.පී.සී. සුගීෂ්වර, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් යන මහත්වරු සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය