Search
Close this search box.

“එජාප ප්‍රබලයෙක් ඇමති විජිතගේ ලිපි ශීර්ෂ හොරට හදලා”

රහසිකගතව ලැඟුම් හලක සැඟව සිටිය දී අත්අඩංගුවට

විදේශ කටයුතු‚ විදේශ රැකියා හා සංචාරක අමාත්‍යා විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ වංචනික අයුරින් භාවිත කරමින් විදේශ රැකියා ජාවාරම් සිදු කළ එජාප හිටපු මන්ත්‍රීවරයෙකු කොටු කර ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් සමත් වී තිබේ.

එහිදී ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද විවිධ ලිපි ශීර්ෂ, විදේශ ගමන් බලපත්‍රවල ඡායා පිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත්‍ර රැසක් ද නිළධාරීන් භාරයට ගෙන තිබේ. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලයින් 11 දෙනෙකුගෙන් කැනඩා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවත් ඔහු වංචා කළ මුදල ලක්ෂ 30කට අධික බවත් අනාවරණය විය.

සැකකරු සිය ජාවාරම් සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ භාවිත කරන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලි දෙකක් අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් මෙම ජාවාරම මෙහෙයවූ සැකකරු ජනවාරි මස 26 දින අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ඔහු රාජගිරිය‚ ඔබේසේකරපුර ලැගුම්හලක රහසිගතව රැදී සිටිමින් ජාවාරම මෙහෙය වූ ස්ථානයේ දී ය.

සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි මහනුවර, යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ද වේ. මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කාර්ය මණ්ඩලයේ දී සේවය කර ඇති සැකකරු එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ක්‍රියාකාරියෙකු ද වෙයි. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින (2026.01.27) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කළ ද, ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මෙම සැකකරු වසර කිහිපයක් තිස්සේ ව්‍යාජ ලියකියවිලි සකස් කර මෙවැනි ජාවාරම් සිදු කර ඇති අයෙකු බවත් ඔහුට එරෙහිව මහනුවර උසාවියේ නඩු කිහිපයක් පැවැති බවත් වැඩිදුර විමර්ශනවල දී අනාවරණය විය.

මෙම අත්අඩංගුවට ගැනීම සදහා මධ්‍යම විශේෂ අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ මෙහි ඉදිරි විමර්ශනයන් සිදුකරන අතර, ඉහත වැටලීම සදහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ ස්ථාන භාර නිළධාරී, කළමනාකරු ආර්.ජී.පී.පී.ආරියසිංහ, පොලිස් පරික්ෂක ටී.පී ද අල්විස්, පොලිස් සැරයන් දිසානායක යන නිළධාරීන් සහභාගි විය.

Translate »