ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතභාවය සහතික කරලීමේ අරමුණ ඇතිව සංවිධානය කෙරෙන ‘ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවය 2025’ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
පරිසර සංරක්ෂණයට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් කර්මාන්ත, රාජ්‍ය සහ පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය ආයතන, පරිසර සංරක්ෂණය සඳහා කැප වී ඇති පාසල් සහ ප්‍රජා සහභාගිත්වය අගයමින් රට තුළ පරිසර හිතකාමී කර්මාන්ත, ව්‍යාපාර සහ සේවා සංස්කෘතියක් ගොඩනැංවීම සහ පරිසර හිතකාමීව කටයුතු කිරීම සඳහා සමාජය දිරි ගැන්වීමත්, තිරසාර සංවර්ධනයට මහජනතාවගේ සහභාගීත්වය වර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ.
“ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවය 2025 ජනපති ප්‍රධානත්වයෙන්”
මෙවර ජනාධිපති පරිසර සම්මාන වැඩසටහන ‘දැකුම්කලු දිවයිනක් – සොම්නසින් පිරි ජනතාවක්’ යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගනිමින් සංවිධානය කිරීම විශේෂත්වයක් වන අතර, එහිදී ‘පරිසර හිතකාමී කර්මාන්ත අංශය’ ‘පරිසර හිතකාමී රාජ්‍ය ආයතන අංශය’ ‘පරිසර හිතකාමී පෞද්ගලික අංශය’ ‘පරිසර හිතකාමී පාසල් අංශය’ ‘පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති අංශය’ ‘පරිසර හිතකාමී නව නිර්මාණ අංශය’ ‘පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන රාජ්‍ය නොවන පරිසර සංවිධාන අංශය’ ‘ජනමාධ්‍ය අංශය’ ‘සමාජ මාධ්‍ය අංශය’ යන අංශ 09 යටතේ රන් සම්මාන 17ක්, රිදී සම්මාන 29ක්, ලෝකඩ සම්මාන 38ක්, කුසලතා සම්මාන 47ක් සහ ජූරියේ විශේෂ සම්මාන 01ක් ලෙස සම්මාන 132ක් පිළිගැන්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රන් සම්මාන ප්‍රදානය කිරීමට එක් වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ යන මහත්වරු විසින් ජනාධිපතිවරයා වෙත පරිසර හිතකාමී අයුරින් නිර්මාණය කළ විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී.
සම්මාන ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපතිවරයා සම්මානලාභීන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.
ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවය ඇමතූ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා සඳහන් කළේ රජය, කර්මාන්ත සහ ජනතාව එක්ව පොදු අරමුණක් වෙනුවෙන් වෙහෙසෙන කල, ජයග්‍රහණය කළ නොහැකි දෙයක් නොවන බවයි. රජය, කර්මාන්ත සහ ජනතාවගේ එකමුතුව ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ සහාය, දිරිමත් කිරීම් සහ තාක්ෂණික මඟපෙන්වීම ලබා දීමට පරිසර අමාත්‍යාංශය කැප වී සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
පරිසරය සුරැකීම එක් ආයතනයකට හෝ අමාත්‍යාංශයකට පමණක් පැවරෙන කාර්යභාරයක් නොවන බවත්, එය සාමුහික සහ ජාතික ප්‍රයත්නයක් බවත් වැඩිදුරටත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනාධිපති පරිසර සම්මාන උලෙළ හුදු ජයග්‍රහණය සැමරීමේ අවස්ථාවක් පමණක් නොව හරිත, පිරිසිදු සහ වඩාත් තිරසර රටක් ලෙස ඉදිරියට යාමේ අවස්ථාවක් කර ගනිමු යැයිද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල යන මහත්වරුද මෙහිදී අදහස් දැක් වූ අතර, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ පරිසර අමාත්‍යාංශයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, සම්මානලාභීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය