Search
Close this search box.

ඉෂාරා සෙව්වන්දි පලාගිය බෝට්ටුව සමග පැද වූ සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙස සඳහන් ඉෂාරා සෙව්වන්දි නමැත්තිය ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තාවේ.

ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ බව කියන මෙම බෝට්ටුව, ඒ. ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් සමන්විත බෝට්ටුවක් බවට හෙළි වී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ආනන්දන් නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්නකිරීමේදී අදාළ සැකකරු සහ මෙම බෝට්ටුව සොයාගැනීමට හැකිවී තිබේ.

මේ වනවිට අත්අඩංගුවේ පසුවෙන බෝට්ටුව පැදවූ සැකකරු,අනන්දන් නමැත්තාගේ ඥාතියෙක් බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, යාපනයේ සිට අදාළ බෝට්ටුවෙන් පැය 10කට අධික ගමනකින් අනතුරුව ඉන්දියාවට ළඟාවූ බවය.

මෙහිදී පොලීසිය පවසා සිටියේ, එම බෝට්ටුවේ ගමන් කළ අනෙක් පිරිමි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත්, අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකව පවතින බවත්ය.

Translate »